ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඇමරිකානු නාවික හමුදාව එක්ව ක්‍රියාත්මක කළ 6 වැනි “Cooperation Afloat Readiness and Training” (CARAT) ශ්‍රී ලංකා සමුද්‍රීය පුහුණු අභ්‍යාසය ජූලි 31 වන දින ත්‍රිකුණාමලයේදී සාර්ථකව අවසන් වී තිබේ.
ජූලි 27 වැනි දින ආරම්භ වූ මෙම අභ්‍යාසය කොළඹ සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල ගොඩබිම් හිදී මෙන්ම ඉන්දීය සාගරයේ මුහුදු ප්‍රදේශයේදීද ක්‍රියාත්මක කෙරුණු අතර, මෙහි අරමුණ වූයේ සමුද්‍රීය අන්තර් ක්‍රියාකාරීත්වය ඉහළ නංවා ගැනීම, හවුල්කාරීත්වය ශක්තිමත් කිරීම සහ කලාපීය ආරක්ෂක සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමයි. මෙවර අභ්‍යාසය සඳහා ඇමරිකානු නාවික හමුදාවට අයත් P-8A Poseidon මුහුදු මුර සංචාරක සහ ඔත්තු බැලීමේ ගුවන් යානයක් මෙන්ම විනාශකාරී බලඝණය (DESRON) 7, CTF-73, CTF-76 සහ ඇමරිකානු වෙරළාරක්ෂක බලකායේ සාමාජිකයෝ සහභාගී වූහ.දෙරටේ නාවික හමුදා අතර සමුද්‍රීය දැනුවත්භාවය (MDA) සහ ගුවන් ඔත්තු බැලීමේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීම මෙන්ම, වෛද්‍ය සහන සේවා සහ පුපුරණ ද්‍රව්‍ය බැහැර කිරීමේ විෂයයන් සම්බන්ධයෙන් විශේෂඥ දැනුම හුවමාරු කරගැනීමේ වැඩසටහන් මෙහිදී ක්‍රියාත්මක කෙරිණි. තාක්ෂණික පුහුණුවීම්වලට අමතරව, ද්විපාර්ශ්වික ක්‍රීඩා උළෙලවල්, ප්‍රජා සේවා ව්‍යාපෘති සහ සංස්කෘතික හුවමාරු වැඩසටහන් මගින් දෙරටේ හමුදා අතර මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරනු ලැබීය.ලොව පුරා හවුල්කාර නාවික හමුදාවන් සමඟ පොදු සමුද්‍රීය අභියෝගවලට මුහුණ දීම සඳහා වාර්ෂිකව ක්‍රියාත්මක වන ජාත්‍යන්තර CARAT අභ්‍යාස මාලාවේ 32 වැනි අදියර මෙය වන අතර, ඉන්දීය සාගර කලාපයේ ස්ථාවරත්වය සහ නිදහස් ඉන්දු-පැසිෆික් කලාපයක් ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙවැනි හවුල්කාරීත්වයන් අත්‍යවශ්‍ය වන බව ඇමරිකානු නාවික හමුදා බලධාරීන් පෙන්වා දී ඇත.














