කල්ගත වූ ඉඩම් ගැටලුවලට විසඳුම් ලබාදීම සහ ප්‍රාදේශීය සංවර්ධනය වේගවත් කිරීම අරමුණු කරගනිමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් මුලතිව් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී විශේෂ සිවිල් – හමුදා සම්බන්ධීකරණ සාකච්ඡාවක් පවත්වා තිබේ.
ශ්‍රී ලංකා යුද හමුදාව භාවිත කරන කේප්පාපිලව් ප්‍රදේශයේ ඉඩම් සහ නාවික හමුදාව භාවිත කරන වඩුවා කල් ප්‍රදේශයේ ඉඩම් සම්බන්ධ ගැටලු මෙහිදී මූලික වශයෙන් අවධානයට ලක් වූ අතර, ජාතික ආරක්ෂාවේ අවශ්‍යතා සහ ජනතා ඉඩම් අයිතීන් අතර නිසි සමතුලිතතාවක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා පෙන්වා දී ඇත. ජාතික ආරක්ෂාවට හානියක් නොවන පරිදි ජනතාව මූලික කරගත් ප්‍රායෝගික විසඳුම් වෙත එළඹෙන ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති අතර, හදිසි ආපදා තත්ත්වයන්හිදී සහ ප්‍රජා සත්කාරක වැඩසටහන්වලදී ආරක්ෂක හමුදාවන් ඉටු කරන කාර්යභාරයද පැසසුමට ලක් කෙරිණි. ප්‍රදේශවාසීන්ට තම ගැටලු කිසිදු බාධාවකින් තොරව සෘජුවම ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට මෙහිදී අවස්ථාව ලැබුණු අතර, රාජ්‍යයේ විනිවිදභාවය සහ ප්රතිසන්ධානය තහවුරු කරමින් මෙම ගැටලු සඳහා ඉදිරියේදී සාධාරණ විසඳුම් ලැබෙනු ඇතැයි ඔවුහු අපේක්ෂා පළ කර සිටිති.
මෙම සාකච්ඡාව සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් චේතනායහන්, සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ, වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සෙල්ලතම්බි තිලගනාදන් යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් රැසක් එක් වූහ.














