මෙරට කුකුළු පාලන කර්මාන්තයට ඉහළ අගයක් එකතු කරමින්, කුකුළු මස් සහ කුකුළු කකුල් අපනයනය ඉලක්ක කරගත් නව කර්මාන්ත ශාලා කිහිපයක් ඉදිරි මාස කිහිපය තුළ විවෘත කිරීමට නියමිත බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
පෞද්ගලික අංශයේ මැදිහත්වීමෙන් ආරම්භ කෙරෙන මෙම ව්‍යාපෘතිය යටතේ කුකුළු මස් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පිරිසිදු කර, ඇසුරුම් කර විදේශ වෙළඳපොළට යොමු කිරීමට සැලසුම් කර ඇති අතර, විශේෂයෙන්ම චීනය වැනි රටවල කුකුළු කකුල් සඳහා පවතින අතිවිශාල ඉල්ලුම සැලකිල්ලට ගනිමින් ඒ සඳහාම වෙන්වූ වෙනම කර්මාන්ත ශාලාවක්ද ස්ථාපිත කිරීමට නියමිතය. ජාත්‍යන්තර වෙළඳපොළේ පවතින ඉහළ වටිනාකම පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ දැනට පවතින මිල ගණන් අනුව කුකුළු කකුලක් ඇමරිකානු ඩොලර් 3.50ක් පමණ වන බවත්, කුකුළෙකුගේ කකුල් දෙකක් ඩොලර් 7ක් (වත්මන් විනිමය අනුපාත අනුව රුපියල් 2,000කට අධික වටිනාකමක්) වන බවත්ය. මෙතෙක් අපතේ ගිය කුකුළු කකුල් වැනි අතුරු නිෂ්පාදන හරහා මෙරටට විශාල විදේශ විනිමයක් උපයා ගැනීමට මෙමඟින් හැකි වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.














