දකුණු පළාතේ කෘෂිකර්මාන්තයට නව පණක් ලබා දෙමින්, වැලිගම සහ වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි දහස් සංඛ්‍යාත ගොවි ජනතාවගේ දීර්ඝකාලීන අපේක්ෂාවක් ඉටු කරමින් ඓතිහාසික **’ඉල්වත්ත අමුණ’** ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ප්‍රථම අදියර අගෝස්තු 02 වන දින ආරම්භ විය.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුසිරිපාල මානවඩු, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්ලයාස් ඇතුළු දේශපාලන අධිකාරියත්, රාජ්‍ය නිලධාරීන් සහ ආරාධිතයන් රැසක් සහභාගී වූහ.
දකුණු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය එක්ව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 594.3 ක (රුපියල් කෝටි 60 කට ආසන්න) පිරිවැයක් ඇස්තමේන්තු කර ඇත. මාස 20 ක කාලයක් තුළ ඉදිකිරීම් නිම කිරීමට සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතිය මඟින් වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 57,000 කට අධික ජනගහනයට සහ 8,000 කට අධික ගොවි ජනතාවට ඍජු හා වක්‍ර ප්‍රතිලාභ හිමිවනු ඇත.
1952 වර්ෂයේදී ආරම්භ කරන ලද මෙම අමුණ යටතේ වැලිගම සහ ගාල්ල දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් රැසක් පෝෂණය වන අතර, අක්කර 3,000 කට අධික මඩ කුඹුරු යායක් සහ කොරටු අක්කර 62 ක් වගා කරන ගොවි පවුල් 2,000 කට ආසන්න ප්‍රමාණයකට මෙයින් සේවය සැලසේ. 1987 දී පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පැවරීමෙන් පසු, 2006/2007 කාලසීමාවේදී නඩත්තු සේවකයන් විශ්‍රාම යාම සහ 2017 වසරේ පැවැති ගංවතුර ව්‍යසනයන් හමුවේ මෙම අමුණ දැඩි ලෙස අක්‍රිය තත්ත්වයට පත්ව තිබිණි.















