දිවයිනේ පොදු ප්‍රවාහන සේවාව නවීකරණය කිරීමේ අරමුණින් මෙරටට ආනයනය කරන ලද නවීන පහසුකම්වලින් යුත් පහත් පතුල සහිත මෙට්‍රෝ (Metro) බස් රථ සේවාව භාවිත කරන මගීන් උදෙසා රුපියල් 799ක විශේෂ සති අන්ත සහන පැකේජයක් හඳුන්වා දී තිබේ.
කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශ ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන මෙම නව බස් රථ 104 ලියාපදිංචි කිරීමේ කටයුතු ලබන සතියේදී ආරම්භ වන අතර, එම කටයුතු අවසන් වූ වහාම එනම් මෙම මස අවසානය වන විට සියලුම බස් රථ ධාවනයට එක්කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව කනකරත්න මහතා සඳහන් කරයි.
මෙට්‍රෝ සමාගමේ සභාපති තිලක් තිලකරත්න මහතා තහවුරු කළ පරිදි, සති අන්තයේ ගමන් ගන්නා මගීන් වෙනුවෙන් ක්‍රියාත්මක වන මෙම රුපියල් 799 සහන පැකේජය යටතේ සෙනසුරාදා හෝ ඉරිදා යන දින දෙකෙන් එකකදී ඕනෑම ධාවන මාර්ගයක කොපමණ වාර ගණනක් වුවද ගමන් කිරීමට මගීන්ට අවස්ථාව හිමිවේ.
මීට අමතරව, මෙම විශේෂ පැකේජය සක්‍රිය කරගන්නා වැඩිහිටියන් සමඟ ගමන් කරන වයස අවුරුදු 12ට අඩු ළමයින්ගෙන් කිසිදු ප්‍රවේශ පත්‍ර ගාස්තුවක් අය නොකෙරෙන අතර, අදාළ සහන පැකේජය **’LMT GO’** ජංගම යෙදුම (App) ඔස්සේ ලබාගැනීමට පහසුකම් සලසා දී ඇත.














