දහම් අධ්‍යාපනය ශක්තිමත් කර ගුණධර්මවලින් පිරිපුන් දරු පරපුරක් බිහිකිරීම සඳහා වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පැවසීය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ “බොදු පිළිවෙත් සුරකින දැහැමි සමාජයක්” යන තේමාව යටතේ අනුරාධපුර, කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලයේ පැවැති 131 වන **දහම් පාසල් ජාතික දින සැමරුම් උත්සවයට** එක්වෙමිනි.
දහම් පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සංඛ්‍යාව ඉහළ නැංවීම සහ දහම් පාසල් ගුරුවරුන් විධිමත් ලෙස පුහුණු කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය. වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාද මෙම අවස්ථාවට එක්විය.
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණි සේනාරත්න මහතා සඳහන් කළේ දිවයින පුරා ක්‍රියාකාරී දහම් පාසල් 10,218ක් පවතින අතර, දරුවන් ලක්ෂ 15කට ආසන්න පිරිසක් එහි අධ්‍යාපනය ලබන බවත්, ගුරුභවතුන් 117,000කට අධික පිරිසක් ස්වේච්ඡාවෙන් සේවය කරන බවත්ය.
මෙම උත්සවයේදී දහම් පාසල් තරගවලින් ජයග්‍රහණය කළ සිසු සිසුවියන් ඇගයීම, ත්‍යාග හා සහතිකපත් පිරිනැමීම මෙන්ම දිගුකාලයක් සේවය කළ දහම් පාසල් ගුරුවරුන් ඇගයීමද සිදු කෙරිණි. මීට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කය වෙනුවෙන් ශාසනික සේවාවක් ඉටු කළ උතුරු මැද දිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක හිමිපාණන් වහන්සේ වෙත ගෞරව සම්මානයක් පිරිනැමීමද විශේෂත්වයක් විය.














