දැඩි සුළං සහ රළු මුහුදු ස්වභාවය හේතුවෙන් පුත්තලම සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස ධීවරයින්ට පැනවූ තහනම තවදුරටත් බලාත්මක වන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි.
දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය වී තිබුණද, පුත්තලම සිට පොතුවිල් දක්වා වූ මුහුදු තීරයේ තවදුරටත් දැඩි සුළං සහ රළු මුහුදු ස්වභාවයක් පවතින බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා අවධාරණය කළේය. ඒ අනුව පුත්තලම, හලාවත, මීගමුව, කොළඹ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට සහ පොතුවිල් දක්වා වන වෙරළාසන්න මුහුදේ රැකියාවේ නිරත වන කුඩා හා එක්දින ධීවර යාත්‍රා සඳහා පනවා ඇති මෙම තහනම නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක වේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත අනුව මුහුදේ ස්වභාවය යහපත් වූ වහාම මෙම තහනම ඉවත් කිරීමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය. පසුගිය දින කිහිපය තුළ කාලගුණ නිවේදන නොසලකා මුහුදු ගිය මන්නාරම, කල්පිටිය, හලාවත සහ මීගමුව ප්‍රදේශවල ධීවරයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම පිළිබඳව අධ්යක්ෂ ජනරාල්වරයා සිය කණගාටුව පළ කළ අතර, ධීවරයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිකුත් කරන නිල නිවේදන පිළිබඳව දැඩි අවධානය යොමුකරන ලෙසත්, රැකියාවේ නිරත වන විට අනිවාර්යයෙන්ම ජීවිතාරක්ෂක කබා පැළඳ සිටින ලෙසත් නැවතත් දැඩිව අවධාරණය කළේය.














