තද සුළං සහ රළු මුහුදු තත්ත්වයන් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. අද (අගෝස්තු 03) පස්වරු 8.00 සිට හෙට (04) පස්වරු 8.00 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම නිවේදනය නිකුත් කර ඇත.
එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60-70 දක්වා ඉහළ යා හැකි බැවින් මුහුද ඉතා රළු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එබැවින් නැවත දැනුම් දෙන තුරු අදාළ මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවට දැඩිව දැනුම් දී තිබේ.
මේ අතර, පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල ද සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50-60 දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශවල ද රළු ස්වභාවයක් අපේක්ෂා කෙරේ. එම ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත වන්නන් දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.














