පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඇති විය හැකි ඕනෑම හදිසි ආපදා තත්ත්වයකදී සෞඛ්‍ය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය වෛද්‍ය සහාය ලබාදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය යූ.කේ.බී. වරකාගොඩ මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් රට පුරා පිහිටි සියලු ශාඛා සමිති වෙත දැනුම් දී ඇති අතර, පූර්ව ආපදා සූදානම පිළිබඳ වෛද්‍යවරුන් දැනුම්වත් කර ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.
පවතින අයහපත් කාලගුණය හමුවේ වහාම ජාතික ආපදා සූදානම ශක්තිමත් කරන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කළේය. සියලු රෝහල්වල ආපදා සූදානම, කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව, අත්‍යවශ්‍ය ඖෂධ හා උපකරණ සංචිත, විදුලිය හා ජල සැපයුම් සඳහා විකල්ප සැලසුම් සහ හදිසි ප්‍රතිචාර යන්ත්‍රණ වහාම සමාලෝචනය කර සක්‍රිය කරන ලෙසට එම ලිපියේ සඳහන් කර ඇති බව වෛද්‍ය වරකාගොඩ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මීට පෙර ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසුව සෞඛ්‍ය සේවාව තවමත් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් නොවූ පසුබිමක, නැවත එවැනි ආපදා තත්ත්වයකට මුහුණ දීමට සිදුවුවහොත් එය රටට දරාගැනීම අපහසු වනු ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
















