අධික වර්ෂාව හමුවේ ගම්පොළ ප්‍රදේශයේ ගම්මාන කීපයක පවුල් පන්සියයක් පමණ අවතැන්ව සිටින බවත්, ඔවුන් මේ වන විට ආරක්ෂිත ස්ථානවලට යොමු කර ඇති බවත් ගම්පොළ උඩ පළාත හා දොළුව ප්‍රාදේශීය ලේකම්වරු පවසති. මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් මෙම ආපදා තත්ත්වය හටගෙන තිබේ.
අයහපත් කාලගුණ තත්ත්වය මත මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පස්මිං සරීෆ් සහ මහනුවර දිසාපති ඉන්දික උඩවත්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ගම්පොළ උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී හදිසි ආපදා කමිටුවක් රැස්වී ඇති අතර, එහිදී මෙම කරුණු අනාවරණය විය.
ගම්පොළ ප්‍රදේශයේ බැබිල, බෝතලාපිටිය, ගඟවට පාර, පල්ලේවෙල, නාවලපිටිය පාර ලියෝනිස්, කුඩමාකේ, නාරංවිට සහ ඉඟුරුවත්ත ඇතුළු ප්‍රදේශ කිහිපයක් මෙලෙස ජලයෙන් යටවී නිවාස ගංවතුරට හසුව ඇත. මේ වන විට එම පවුල් ගම්පොළ ගේට් පල්ලිය, කහහටපිටිය පල්ලිය සහ බෝතලාපිටිය ගංගාතිලක විහාරස්ථානයේ නවාතැන් ගෙන සිටිති.
ඊයේ (03) රැස්වූ හදිසි ආපදා කමිටුවේදී ගම්පොළ හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කළ අතර, පවතින අවදානම පාලනය කිරීම සඳහා මේ වන විට බෝට්ටු 06ක් ගම්පොළ වෙත රැගෙන විත් සූදානම් කර ඇති බව ද වැඩිදුරටත් අනාවරණය විය.
















