ඉදිරි වසර 5ක කාලසීමාව සඳහා ගොවීන් වෙත ඉන්දීය රුපියල් ට්‍රිලියන 3.16ක මූල්‍ය සහනාධාරයක් ලබා දීමේ යෝජනාවක් එරට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත. අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති අතර, ගොවීන්ගේ ක්ෂණික මුදල් අවශ්‍යතා පහසු කිරීම සහ අවිධිමත් ණය මත රඳා පැවැතීම අවම කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.
ග්‍රාමීය මට්ටමේ සහ කෘෂිකාර්මික ආයෝජන නංවාලීම සඳහා වන ‘ප්‍රධාන් මන්ත්‍රී කිසාන් සමාන් නිධි‘ (Pradhan Mantri Kisan Samman Nidhi) නමැති වැඩසටහන යටතේ මෙම මූල්‍ය සහනාධාර ලබා දීම 2027 මූල්‍ය වර්ෂයේ සිට 2031 මූල්‍ය වර්ෂය දක්වා දීර්ඝ කිරීමට නියමිතය.
වසර 2019 දී ආරම්භ කරන ලද මෙම කිසාන් සමාන් නිධි වැඩසටහන යටතේ මේ වන විට වාරික 23ක් ඔස්සේ රුපියල් ට්‍රිලියන 4.47කට වැඩි මුදලක් ගොවීන් අතර බෙදා හැර තිබේ. අවසන් වරට ලබා දුන් වාරිකයෙන් එරට ගොවීන් මිලියන 94.9කට වැඩි පිරිසක් ප්රතිලාභ ලබා ඇති අතර, එහි සමස්ත වටිනාකම ඉන්දීය රුපියල් බිලියන 189.84 ඉක්මවා ඇත.
















