එල්-නිනෝ සහ ලා-නිනා (El-Nino, La-Nina) දේශගුණික තත්ත්වයන් හේතුවෙන් ඉදිරියේදී ඇතිවිය හැකි බලපෑම්වලට මුහුණ දීම සඳහා අන්තර් ආයතන සම්බන්ධීකරණයෙන් යුත් විශේෂ කාර්ය සාධක බළකායක් ස්ථාපිත කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී පැවති දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
මෙම අර්බුදයට පක්ෂ පාට භේදයකින් තොරව සියලු දෙනා එකතු වී මුහුණ දිය යුතු බවත්, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කාර්ය සාධක බළකාය හරහා සියලු අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු මැනවින් සම්බන්ධීකරණය කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. ජාතික වනෝද්‍යාන, සාගර පරිසර පද්ධති සහ ජෛව විවිධත්වය ආරක්ෂා කරගනිමින් පූර්ව සූදානමකින් කටයුතු කිරීමේ දැඩි අවශ්‍යතාවයද ඔහු මෙහිදී අවධාරණය කළේය.














