මධ්‍යම පරිසර අධිකාරිය සමඟ එක්ව ඩයලොග් ආසියාටා සමාගමේ “ඊ-කුණු” (e-Kunu) වැඩසටහන නව මුහුණුවරකින් එළිදැක්වීම ඊයේ (03) මධ්‍යම පරිසර අධිකාරියේ දී අතිසාර්ථකව සිදු කෙරුණා. නිෂ්පාදකයාගේ විස්තීර්ණ වගකීම යන සංකල්පයට ස්වෙච්ඡාවෙන් අනුගතවෙමින්, නම් කරන ලද ඕනෑම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යයක් ඩයලොග් ආසියාටා සමාගමේ දිවයින පුරා පිහිටි ශාඛා වෙත භාරදීම ඊයේ සිට ක්‍රියාත්මකය.
මෙම වැඩසටහන යටතේ පාරිභෝගිකයින් විසින් ඩයලොග් ශාඛා වෙත ගෙනැවිත් දෙන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක්රැස් කර නියමිත පරිදි බැහැර කිරීම සඳහා ලියාපදිංචි ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බැහැර කරන්නෙක් වෙත යොමු කිරීමේ සම්පූර්ණ වගකම ඩයලොග් ආසියාටා සමාගම විසින් භාරගනු ලබයි. ඒ සඳහා අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් සහ ඩයලොග් ආසියාටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය. මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන් ඇතුළු උසස් රාජ්‍ය සහ ආයතනික නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
දිවයින පුරා පිහිටි සෑම ඩයලොග් අලෙවි ශාඛාවකම මෙම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක්රැස් කිරීම සඳහා විශේෂිත වූ බහාලුමක් (Container) ස්ථාපිත කර ඇත. ගෝලීය වශයෙන් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ඉහළ යාම සහ ඒවායේ අඩංගු රසදිය, ඊයම්, කැඩ්මියම් වැනි විෂ සහිත බැර ලෝහ නිසා පරිසරයට සහ මිනිස් සෞඛ්‍යයට සිදුවන හානි වළක්වා ගනිමින්, වටිනා සම්පත් ප්‍රතිචක්‍රීකරණය කර චක්‍රීය ආර්ථිකයක් වෙත රට යොමු කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වේ.














