පවත්නා අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ රත්නපුර මහජන පොළ පරිශ්‍රය නැවත වරක් ගංවතුරට යටවීම නිසා එහි වෙළෙඳ කටයුතුවල නිරත වෙළෙඳුන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව වාර්තා වේ. අයහපත් කාලගුණය හමුවේ මෙම වෙළෙඳ පරිශ්‍රය ගංවතුරට යටවූ දෙවන අවස්ථාව මෙය බව වෙළෙඳුන් පෙන්වා දෙති.
මීට පෙර හදිසි ගිනිගැනීමකට ලක්ව විනාශ වූ මෙම පොළ පරිශ්‍රය, මාස 03කට අධික කාලයක් ගතවී තිබුණද ප්‍රතිසංස්කරණය කිරීමට බලධාරීන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බව සඳහන් වේ. බලධාරීන්ගේ මෙම නොසලකා හැරීම හමුවේ, විනාශ වූ ස්ථානයේම තාවකාලිකව තම වෙළෙඳ කටයුතු පවත්වාගෙන යාමට වෙළෙඳුන්ට සිදුව ඇති අතර, ස්ථිර ප්‍රතිසංස්කරණයක් සිදු නොවීම සහ පවතින ජල ගැලීම් හේතුවෙන් ඔවුන්ගේ වෙළෙඳ භාණ්ඩ රැසකට හානි සිදුවී තිබේ. එමඟින් ඔවුන්ගේ දෛනික ආදායම ද බරපතළ ලෙස පහත වැටී ඇති අතර, තමන් මුහුණ දී සිටින මෙම අර්බුදකාරී තත්ත්වයට වගකිවයුතු බලධාරීන්ගෙන් මෙතෙක් කිසිදු සාධනීය හෝ ස්ථිර විසඳුමක් ලැබී නොමැති බවට වෙළෙඳුන් දැඩි චෝදනා නඟති.














