ඉන්දීය පිලේ නිත්‍ය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියෙන් ඉවත්වීම හේතුවෙන් වේග පන්දු බළඇණියේ අර්බුද මතුව තිබියදී, ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අද (04) දිනයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. බුම්රා නොමැති ඉන්දීය ටෙස්ට් පිලේ වේග පන්දු අංශයට මොහොමඩ් සිරාජ් හා ප්‍රසිද් ක්‍රිෂ්ණා සිටියද, ශ්‍රී ලංකා තත්ත්වයන් යටතේ පුළුල් ටෙස්ට් ක්‍රිකට් අත්දැකීම් දෙදෙනාටම නොමැතිවීම ඉන්දීය පිලට මතුව ඇති අභියෝගයකි. ඉන්දීය රංජි කුසලානයේ අවසන් වාර දෙකේදී විශිෂ්ට දස්කම් දැක්වූ අවුකිබ් නබි බුම්රා වෙනුවට සංචිතයට නම් කොට ඇති අතර, ඔහු ජම්මු සහ කාශ්මීරයෙන් බිහි වූ තුන්වන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක්වේ.වසර 6කට පසු ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය ටෙස්ට් කණ්ඩායම අගෝස්තු 7 සිට කොළඹ NCC පිටියේදී තෙදින පුහුණු තරගයකට එක්වීමට නියමිතය. අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් පළමු ටෙස්ට් තරගය අගෝස්තු 15 සිට 19 දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීත්, දෙවැනි ටෙස්ට් තරගය අගෝස්තු 23 සිට 27 දක්වා කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේදීත් පැවැත්වේ. මෑතකදී නවසීලන්තයට, දකුණු අප්‍රිකාවට සහ ඔස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් තරගාවලි පරාජය වී ඇති ඉන්දියාව, ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා දැඩි අවධානයක් යොමු කර ඇත.මෙම සංචාරය සඳහා නම් කරන ලද ඉන්දීය ටෙස්ට් සංචිතයට ශුබ්මන් ගිල් (නායක), කේඑල් රාහුල් (උප නායක), යෂස්වි ජයිස්වාල්, රිෂාබ් පාන්ට්, සායි සුදර්ශන්, ධෲව් ජුරෙල්, රවීන්ද්‍ර ජඩේජා, කුල්දීප් යාදව්, මානව් සුතාර්, මොහොමඩ් සිරාජ්, ප්‍රසිද් ක්‍රිෂ්ණා, ගුර්නූර් බ්‍රාර්, දේව්දුත් පඩික්කල්, සරංෂ් ජේන් සහ අවුකිබ් නබි යන ක්‍රීඩකයෝ ඇතුළත් වෙති.














