මහර සිද්ධිය බන්ධනාගාරය පවත්වාගෙන යාම අඩපණ කිරීමේ කුමන්ත්‍රණයක් දැයි බරපතළ සැකයක් මතුවන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසනවා. මහර බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අද (04) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
මීගමුව බන්ධනාගාරයේ සිදු වූයේ මත්ද්‍රව්‍ය පදනම් කරගත් ආරවුලක් වුවද, මහර බන්ධනාගාරයේ සිද්ධිය රැඳවියන් විසින් පාලන තන්ත්රයට එරෙහිව සිදුකරන ලද්දක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එකවරම රැඳවියන් 1,000ක් පමණ පැමිණ පෙර නොවූ විරූ ලෙස ගිනි තැබීම් සිදු කිරීම පිටුපස සංවිධානාත්මක කුමන්ත්රණකාරී පිරිසක් සිටින බවට සැක කෙරෙන අතර, මෙවැනි සිද්ධි සෙසු බන්ධනාගාර දක්වා රැල්ලක් වශයෙන් ව්‍යාප්ත වීම කෙරෙහි ද අවධානය යොමු වී තිබේ. තවත් බන්ධනාගාර දෙක තුනක මෙවැනි තත්ත්වයක් ඇතිවීම පිළිබඳ තොරතුරු ලැබී ඇති අතර, පැනනගින ඕනෑම තත්ත්වයකදී ජීවිත හානි අවම කර ගනිමින් පාලනය කිරීමට අවශ්‍ය සම්බන්ධීකරණය ගොඩනඟමින් පවතින බව ඔහු පැවසීය.
ගිනි තබා විනාශ කර ඇත්තේ මහජනතාවගේ බදු මුදල් බවත්, ඒවා නැවත ගොඩනැගීමට සිදුවන්නේද එම මුදලින් බවත් රැඳවියන් තේරුම් ගත යුතු බව අවධාරණය කළ අමාත්‍යවරයා, කුමන්ත්‍රණයකට සම්බන්ධ අයෙක් සිටී නම් ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට පසුබට නොවන බවද ප්‍රකාශ කළේය. මීට අමතරව, අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ සභාපතිත්වයෙන්, අමාත්‍ය ආනන්ද විජයපාල මහතා, ලේකම්වරුන්, පොලීසිය, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් ද මේ සඳහා පත් කර තිබේ.














