හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගල්ෆ් කලාපයට ඇතුළු වන නාවික ගමනාගමනයේ පාලනය ඉරානයට ලබා දෙන යෝජිත ගිවිසුමක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බව ජ්‍යෙෂ්ඨ ඉරාන ආරංචි මාර්ග සහ කලාපීය නිලධාරීන් තොරතුරු අනාවරණ කර තිබේ. මෙය ඉරානයට හිමිවිය හැකි විශාලතම සහනයක් ලෙස සැළකේ.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ සාකච්ඡා ඉතා සාර්ථකව සිදුවන බවත්, සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමේ ගිවිසුමක් ඉතා ඉක්මනින් බලාපොරොත්තු විය හැකි බවත්ය. කෙසේ වෙතත්, තවමත් එකඟ විය යුතු වැදගත් කරුණු රැසක් පවතින බැවින් ගිවිසුමක් අත්සන් කිරීමට ආසන්න බවට වන ප්‍රකාශ කලාපීය ආරංචි මාර්ග විසින් ප්‍රතික්ෂේප කර ඇත.
මෙම යෝජිත ගිවිසුම යටතේ ගල්ෆ් ප්‍රදේශයට ඇතුළු වන නෞකා පාලනය කිරීමේ බලය ඉරානයට හිමිවන අතර, ඉරානය විසින් භාණ්ඩවල වටිනාකමින් 5% ත් 7% ත් අතර ගාස්තුවක් අය කිරීමට බලාපොරොත්තු වේ. ඔමානය 3% ක පමණ ගාස්තුවක් යෝජනා කර ඇති අතර, ඇමරිකාව කිසිදු ගාස්තුවක් අය නොකළ යුතු බවට තදින්ම කියා සිටී. මීට අමතරව, යේමනයේ හූති (Houthi) සටන්කාමීන් විසින් රතු මුහුදේදී සෞදි ධජය යටතේ ගමන් කළ තෙල් නෞකාවකට ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟ ගෝලීය තෙල් මිල මඳක් ඉහළ ගොස් තිබේ.
පෙබරවාරි මාසයේදී ආරම්භ කළ යුද්ධය අවසන් කිරීම සඳහා ට්‍රම්ප් පරිපාලනය මතයකට පැමිණ සිටියද, ඉරානයට සමුද්‍ර සන්ධියේ පාලනය ලබා දීමට ඇමරිකානු නිලධාරීන් මීට පෙර දැඩි විරෝධය පළ කර තිබුණි. ඉරානය සහ වොෂින්ටනය අතර සෘජු සාකච්ඡා නොමැති අතර, සමුද්‍ර සන්ධියේ අනෙක් වෙරළ තීරය පාලනය කරන ඔමානය හරහා මෙම සාකච්ඡා මැදිහත්වී සිදු කෙරෙමින් පවතී.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














