ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණයට එරෙහිව ගොනු කර ඇති පෙත්සමේ තීන්දුව අගෝස්තු මස 31 වන දින ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (5) නිවේදනය කළේය.
ශ්‍රී ලංකා එක්දින හා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම්වල නායකයන් වන ධනංජය ද සිල්වා, චරිත් අසලංක සහ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි. තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා පුද්ගලික අත්තිකාරම් බදු අය කිරීමට දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලමින් මෙම රිට් ආඥා පෙත්සම ගොනු කර ඇත.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබීය. මෑතකදී දේශීය ආදායම් පනතට සිදුකළ සංශෝධනයට අනුව ස්වාධීන සේවා සපයන්නන් වෙනම වර්ගීකරණය කර ඇති බැවින්, එමඟින් මෙම ගැටලුව නිරාකරණය කර ගැනීමට හැකියාවක් තිබේදැයි අධිකරණය මෙහිදී ප්‍රශ්න කළේය.
නමුත් අදාළ සංශෝධනය මෙම ගැටලුවට අදාළ නොවන බවත්, ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම්ගතව සිටින පුද්ගලයින් වන බැවින් ඔවුන්ට මෙම ප්‍රතිපාදන නොගැලපෙන බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මහතා සඳහන් කළේය.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශාන් සිඩ්නි ප්‍රේමතිරත්න මහතා කරුණු දක්වමින් කියා සිටියේ, තම සේවාදායකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් නොවන අතර ඔවුන් ස්වාධීන සේවා සපයන්නන් ගණයට වැටෙන බවයි. මෙම බදු අර්බුදය හේතුවෙන් ක්‍රීඩකයින්ගේ ගෙවීම් අත්හිටුවා ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.
ඒ අනුව, අදාළ ලිඛිත දේශන ඇත්නම් සතියක් ඇතුළත ගොනු කරන ලෙස පාර්ශ්වකරුවන්ට නියෝග කළ විනිසුරු මඩුල්ල, නඩුවේ තීන්දුව අගෝස්තු 31 වන දින ප්‍රකාශයට පත් කරන බව ප්‍රකාශ කළේය.














