නෝටන්බ්‍රිජ් සහ මස්කෙළිය ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ නෝටන්බ්‍රිජ් – මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ එඩිට් සහ කිරිවන්එළිය යන ප්‍රදේශවල නිවසක්, වෙළඳසැලක් සහ මාර්ගයේ ස්ථාන කිහිපයක් ඊයේ (03) නායගොස් තිබෙනවා. මෙම නායයෑම් හේතුවෙන් ප්‍රධාන මාර්ගයට විශාල ගල් පර්වත සහ පස් කඳු කඩා වැටීම නිසා ගමනාගමනයට දැඩි බාධා පැමිණි අතර, නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ නිලධාරීන් විසින් ඒවා ඉවත් කිරීමට පියවර ගෙන ඇත.නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේ හටගත් නායයෑම් සහ නායයෑමේ අවදානම් තත්ත්වයන් නිසා පවුල් 15ක් නෝටන්බ්‍රිජ් සමෘද්ධි සංවර්ධන කාර්යාලයේ තාවකාලිකව ඉදි කර ඇති ආරක්ෂිත කඳවුර වෙත යොමු කර තිබේ. අවතැන් වූ එම පිරිසගේ සුවදුක් සොයා බැලීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා එම ස්ථානය වෙත පැමිණි අතර, ආපදාවෙන් විපතට පත් සියලු දෙනාට අවශ්‍ය සහන ලබා දීමට රජය පියවර ගෙන ඇති බව ඔහු එහිදී ප්‍රකාශ කළේය.














