නෝටන්බ්‍රිජ් සහ මස්කෙළිය ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ නෝටන්බ්‍රිජ් – මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ එඩිට් සහ කිරිවන්එළිය යන ප්‍රදේශවල නිවසක්, වෙළඳසැලක් සහ මාර්ගයේ ස්ථාන කිහිපයක් (03) දින නායගොස් තිබේ. මාර්ගයට විශාල ගල් පර්වත සමඟ පස් කඳු කඩා වැටීම නිසා ගමනාගමනයට බාධා පැමිණ ඇති අතර, නෝර්වුඩ් මාර්ග සංවර්ධණ අධිකාරි කාර්යාලයේ නිලධාරීන් විසින් එම අවහිරතා ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
නායයෑම් සහ නායයෑමේ අවදානම් හේතුවෙන් නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේ පවුල් 15ක් නෝටන්බ්‍රිජ් සමෘද්ධි සංවර්ධන කාර්යාලයේ තාවකාලිකව ඉදි කර ඇති ආරක්ෂිත කඳවුර වෙත යොමු කර තිබේ. එම පිරිසගේ සුවදුක් සොයා බැලීමට නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා පැමිණි අතර, ආපදාවෙන් විපතට පත් සියලු දෙනාට සහන ලබා දීමට රජය පියවර ගෙන ඇති බව ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.














