රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය බිඳවැටී ඒකාධිපතිත්වයක් කරා ගමන් කිරීම වැළැක්වීම සඳහා නීතිඥවරුන් ලෙස විරෝධතාවයේ නිරත වන බව අධිනීතිඥ ලාල් විජයනායක පවසයි. මහනුවර නීතිඥ සංගමයේදී (අගෝස්තු 4) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
ඉදිරියේදී රජයේ නිලධාරීන්ට, හිටපු දේශපාලඥයන්ට සහ හිටපු ජනාධිපතිවරුන්ට එරෙහි විශේෂිත නඩු කිහිපයක තීන්දු දීමට නියමිතව තිබියදී විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට පියවර ගැනීම පිටුපස යටි අරමුණක් ඇති බවට සාධාරණ සැකයක් මතු වන බව ලාල් විජයනායක එහිදී අවධාරණය කළේය.
“මෙවැනි අවස්ථාවක විනිසුරුවන්ගේ සේවා කොන්දේසි වෙනස් කිරීම, සේවා කාලය දීර්ඝ කිරීම හෝ වැටුප් වැඩි කිරීම හරහා රජයට පක්ෂපාතී තීන්දු ගැනීමට බලපෑම් ඇති විය හැකියි. අධිකරණයේ ස්වාධීනත්වය නැති වුවහොත් අප සැමට සිදුවන්නේ විධායකයේ වහලුන් බවට පත්වීමටයි. නඩු ප්‍රමාණය වැඩි නිසා විශ්‍රාම වයස වැඩි කරනවා කියන කතාව පිළිගන්න බෑ. නඩු ප්‍රමාදයට හේතුව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, පොලීසිය සහ අධිකරණවල පවතින දැඩි කාර්ය මණ්ඩල හිඟයයි. ඒවට පිළියම් යෙදුවොත් බන්ධනාගාරවල ගැටලුත් නිකම්ම අඩු වෙනවා” යැයි ඔහු පෙන්වා දුන්නේය.
මේ අතර, තමන් ජාතික ජන බලවේගයේ නිලතල දරන සාමාජිකයෙකු බවත්, මෙම ප්‍රශ්නයේදී නිශ්ශබ්දව සිටින ලෙස ලාල් කාන්ත තමන්ට දුරකථනයෙන් කතා කර පැවසූ බවද ඔහු මෙහිදී අනාවරණය කළේය. “මම එදත් අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටියා, අදත් පෙනී සිටිනවා. මට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අවශ්‍යයි කියන එක මම එතුමාට කිව්වා. ඒ වගේම මේ සම්බන්ධයෙන් ලිපියක් යැවීමටත් කටයුතු කර තිබෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය නැති වුණොත් එය ඒකාධිපතිත්වයකට අතවැනීමක්” යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














