ශ්‍රී ලංකා තරුණ මුස්ලිම් කාන්තා සංගමයේ (YWMA) 40 වැනි සංවත්සරය සහ එහි සංවත්සර වාර්තාමය ග්‍රන්ථය වන “අපේ වැඩෙන වසර” (Our Growing Years) කෘතිය එළිදැක්වීමේ උත්සවය කොළඹ ග්‍රෑන්ඩ් සෙනිත් සාද ශාලාවේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
මුස්ලිම් කාන්තාවන් සහ දරුවන් සවිබල ගැන්වීම වෙනුවෙන් දශක හතරක් පුරා ඉටුකළ මානුෂීය සේවය සැමරීම පිණිස YWMA සභාපතිනි ෆවාසා තහා මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණි. මෙහිදී සංගමයේ 40 වැනි සංවත්සරය සනිටුහන් කරමින් විශේෂ කේක් කැපීමක් සිදුකළ අතර, දිගු කලක් තිස්සේ සංගමය වෙනුවෙන් කැපවී කටයුතු කළ සාමාජිකාවන් ඇගයීම සඳහා විශේෂ උපහාර පිදීමක්ද සිදු කෙරිණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස් බඩ්ලි හිෂාම් ආදම් සහ ඔහුගේ භාර්යාව සහභාගී වූ අතර, පාකිස්තානය සහ ඉරානය සඳහා හිටපු ශ්‍රී ලංකා තානාපති මොහොමඩ් සහීඩ් විසින් ප්‍රධාන දේශනය පවත්වන ලදී. 1986 වසරේදී ආරම්භ කරන ලද YWMA සංගමය, අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය, කාන්තා සවිබල ගැන්වීම සහ ප්‍රජා සුබසාධනය වෙනුවෙන් පසුගිය වසර 40 පුරා ක්‍රියාකාරී දායකත්වයක් ලබා දී ඇත. සංගමයේ මෙම සැමරුම් උත්සවය සඳහා දෙස් විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන්, ව්‍යාපාරිකයන්, නීතිඥයන්, මාධ්‍යවේදීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් බොහෝ දෙනෙක් එක්ව සිටියහ.
















