යහපත් ජාත්‍යන්තර සම්මුතීන් වෙනුවෙන් ශ්‍රී ලංකාව ඕනෑම අවස්ථාවක සිය සහයෝගය ලබාදීමට සූදානමින් සිටින බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කර ඇත.
කසකස්ථානයේ ශ්‍රී ලංකා තානාපති Sergey Viktorov සහ කසකස්ථාන දූත මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානී Rustem Jamankulov යන මහත්වරුන් ඇතුළු දූත පිරිසක් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී හමුවූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත කලාපීය රාජ්‍ය සමුළුව පිළිබඳව ශ්‍රී ලංකාව දැනුවත් කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය.
රටවල් 20 කට ආසන්න සංඛ්‍යාවක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවේදී, රටවල් හරහා ගලායන ගංගාවල ජලය සාධාරණ ලෙස බෙදා ගැනීම සඳහා ජාත්‍යන්තර ජල සම්මුතියක් ඇති කිරීම කෙරෙහි අවධානය යොමු කෙරෙන බව කසකස්ථාන නියෝජිතයෝ පෙන්වා දුන්හ. එම ජල සම්මුතිය සඳහා ශ්‍රී ලංකාවේ සහයෝගය ඉල්ලා කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්, කිසිදු පැකිලීමකින් තොරව ශ්‍රී ලංකාවේ සහාය ලබාදීමට සූදානම් බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
මීට අමතරව, ශ්‍රී ලංකාවට අවශ්‍ය රසායනික පොහොර ආනයනය කිරීම සම්බන්ධයෙන් කසකස්ථානය සමඟ සහයෝගී එකඟතාවකට එළඹීමේ හැකියාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇත. කසකස්ථාන නියෝජිතයින් මෙරට කාලගුණික තත්ත්වය සහ සංචාරක ආකර්ෂණය අගයමින් සඳහන් කළේ, තුර්කිය, ඊජිප්තුව සහ තායිලන්තය මෙන්ම ශ්‍රී ලංකාවද තම රටේ සංචාරකයින් අතර ජනප්‍රිය ගමනාන්තයක් ලෙස තෝරාගන්නා බවයි.














