ප්රජාතන්ත්රවාදී රටක අධිකරණයේ ස්වාධීනත්වය අත්‍යවශ්‍ය සාධකයක් වන අතර, එම නිදහස නොමැති වූ විට සෑම පුරවැසියෙක්ම විධායකයේ වහලුන් බවට පත්වීමේ අවදානමක් පවතින බව ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී සාමාජික, අධිනීතීඥ ලාල් විජේනායක මහතා ප්‍රකාශ කළේය. මහනුවර අධිකරණයේ නීතිඥ කාර්යාල සංකීර්ණයේ පැවති මහනුවර නීතිඥ සංගමයේ නිලධාරීන්ගේ රැස්වීමක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
මෙම අවස්ථාවේදී විනිශ්චයකාරවරුන්ගේ සේවා කොන්දේසි වෙනස් කිරීම, සේවා කාලය දීර්ඝ කිරීම සහ වැටුප් වැඩි කිරීම හරහා රජයට පක්ෂපාතී තීන්දු ලබා දීමට ඉඩකඩ සැලසෙන බවට සමාජය තුළ සාධාරණ සැකයක් මතුව ඇති බව ඔහු පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම ඉදිරියේදී විභාග වීමට නියමිත විශේෂ නඩු සහ හිටපු ජනාධිපතිවරුන්ට එරෙහි නඩු පවතින මෙම පසුබිමක, විනිශ්චයකාරතුමන්ලාගේ සේවා කාලය දීර්ඝ කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව හෙතෙම අවධාරණය කළේය.
තවද, තමන් ජාතික ජන බලවේගයේ සාමාජිකයෙකු වුවද මෙම ප්රශ්නයේදී නිහඬව සිටින ලෙසට පක්ෂයෙන් දුරකථන ඇමතුමක් ලැබුණු බව ලාල් විජේනායක මහතා අනාවරණය කළේය. ලාල් කාන්ත මහතා විසින් තමාට කතා කර මේ පිළිබඳව අදහස් දැක්වීමෙන් වළකින ලෙස පැවසුවද, අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් තමන් එදත් අදත් නොබියව පෙනී සිටින බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.














