මොරිෂස් රාජ්‍යයේ පෞද්ගලික අංශය වෙනුවෙන් මෙරටදී නිෂ්පාදනය කරන ලද අඩි 55ක් දිගැති අතිනොවීන ධීවර යාත්‍රාව නිල වශයෙන් දියත් කර භාරදීමේ උත්සවය මට්ටක්කුලිය සීනෝර් යාත්‍රාංගණයේදී පැවැත්විණි. ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර, මෙහිදී “CAPTAIN C” ලෙස නම් කරන ලද මෙම නවීන යාත්‍රාව මොරිෂස්හි ‘Captain C Adventure Offshore Fishing Co-operative Society’ ආයතනයේ සභාපති රමේෂ් චුට්ටූ මහතා වෙත නිල වශයෙන් පවත්වනු ලැබීය. ඇමරිකානු ඩොලර් 234,000ක වටිනාකමකින් යුත් මෙම යාත්‍රාව කියුබික් මීටර් 29ක මත්ස්‍ය ගබඩා ධාරිතාවකින් සහ ලීටර් 12,500ක ඉන්ධන ධාරිතාවකින් සමන්විත වේ.
පසුගිය කාලසීමාව තුළ වසා දැමීමට හෝ පෞද්ගලීකරණය කිරීමට යෝජනා වී තිබූ සීනෝර් ආයතනය, වත්මන් රජය යටතේ ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් මෙම සුවිශේෂී ජයග්‍රහණය අත්කර ගෙන තිබේ. උත්සවය අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ නිසි කළමනාකරණය සහ කැපවීම හරහා රජය සතු ආයතන ලාභදායී කළ හැකි බව සීනෝර් ආයතනය මේ වන විටත් ඔප්පු කර ඇති බවයි. ඉදිරියේදී නෝර්වේ රාජ්‍යයෙන් තාක්ෂණික සහය ලබා ගැනීමට නියමිත අතර, මොරිෂස් පාර්ශ්වයේ ඉල්ලීමක් මත එරට තුළ සීනෝර් යාත්‍රාංගනයක් ස්ථාපිත කිරීමේ හැකියාව පිළිබඳවද මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇත. තවද, උතුරු පළාතේ සංචාරක කර්මාන්තය ඉලක්ක කර ගනිමින් රුපියල් මිලියන 150ක වටිනාකමින් යුතු නව යාත්‍රාවක් නිෂ්පාදනය කිරීමේ වගකීමද සීනෝර් ආයතනයට පැවරී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.
















