ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි මහතා ඇතුළු දූත පිරිස අද (05) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමු වූ අතර, එහිදී දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් පැවැත්විණි.
මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ඩිජිටල් අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සහ සැමට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව අග්‍රාමාත්‍යවරිය ඉන්දීය දූත පිරිස දැනුවත් කළාය. එමෙන්ම දෙරටේ උසස් අධ්‍යාපන ආයතන අතර සහයෝගීතාව වර්ධනය කිරීම, ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් පුළුල් කිරීම, ඒකාබද්ධ පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම සහ අධ්‍යයන සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳවද දෙපාර්ශ්වයේ අවධානය යොමු විය.
මීට අමතරව, දෙරට අතර වෙළෙඳ හා ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළ නියෝජිතයෝ, සංචාරක ක්ෂේත්රයේ සහයෝගීතාව ඉහළ නැංවීම සහ දෙරටේ ජනතාව අතර සබඳතා තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කළහ. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු දෙරටේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.














