“හිස්බුල්ලා සංවිධානයේ ක්‍රියාකාරකම්වලට ප්‍රතිචාර දක්වමින්” ඊශ්‍රායල හමුදාව අද (අගෝස්තු 5) දකුණු ලෙබනනයට ඉලක්කගත ප්‍රහාර මාලාවක් ආරම්භ කර තිබේ. ඇමෙරිකානු මැදිහත්වීමෙන් රෝමයේ පැවති ඊශ්‍රායල – ලෙබනන සාකච්ඡාවලින් දිනකට පසුව මෙම ප්‍රහාර එල්ල වීම විශේෂත්වයකි.
ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ දකුණු ලෙබනනයේ ටිබ්නින් (Tibnin) නගරයට එල්ල වූ ප්‍රහාරයෙන් එක් අයෙකු මියගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
ප්‍රහාරයට පෙර, ටිබ්නින් සිට කිලෝමීටර් 25 ක් පමණ දුරින් පිහිටි මන්සූරි (Mansouri) ගම්මානයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායල හමුදාව මාර්ගගත (online) නිවේදනයක් හරහා ප්‍රදේශවාසීන්ට අනතුරු අඟවා තිබුණි. මෙය මාසයකට වැඩි කාලයක් තුළ ඊශ්‍රායලය විසින් ලෙබනනය සඳහා නිකුත් කළ පළමු මාර්ගගත අනතුරු ඇඟවීමයි. මීට පෙර ජූනි මාසයේ අග භාගයේදීද මෙම ප්‍රදේශය තම ආරක්ෂිත කලාපයකට (buffer zone) ඇතුළත් කර ඇති බැවින් ඉවත් වන ලෙස දන්වමින් ඊශ්‍රායලය විසින් පත්‍රිකා හෙළා තිබුණි. කෙසේ වෙතත්, ඊශ්‍රායල හමුදා මෙහෙයුම් මධ්‍යයේ වුවද සමහර ලෙබනන ගොවීන් තවදුරටත් සිය නිවාස සහ ගොවිබිම් වෙත පැමිණෙමින් සිටි බව වාර්තා වේ.
පසුගිය ජූනි 26 වැනිදා දේශසීමා ගැටුම් සමනය කරගැනීම අරමුණු කරගනිමින් අමෙරිකානු මැදිහත්වීමෙන් ආරක්ෂක එකඟතාවකට දෙපාර්ශවය පැමිණියද, හිස්බුල්ලා තර්ජන මැඩපැවැත්වීම සඳහා දකුණු ලෙබනනය තුළ ආරක්ෂිත කලාපයක් අඛණ්ඩව පවත්වාගෙන යන බව ඊශ්‍රායලය අවධාරණය කර ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්













