ඇමරිකා එක්සත් ජනපදය විසින් තම භූමියට එරෙහිව යම් නව ප්‍රහාරයක් එල්ල කළහොත් එයට ප්‍රතිචාර ලෙස කලාපීය බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට ඉරානය ගල්ෆ් රටවලට දැඩි අනතුරු ඇඟවීමක් කර ඇත.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරාන බලශක්ති ජාලයට සහ යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කරන බවට කළ තර්ජනයෙන් පසුව, ඉරාන විදේශ අමාත්‍ය අබාස් අරාචි සෞදි අරාබිය, තුර්කිය, කටාර් සහ පකිස්ථාන ආරක්ෂක ප්‍රධානීන් සමඟ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා පවත්වමින් ඉරානයට එරෙහි ප්‍රහාර වැළැක්වීම සඳහා ට්‍රම්ප්ට බලපෑම් කරන ලෙස ඉල්ලා ඇත. ඇමරිකාව ඉරාන යටිතල පහසුකම් ඉලක්ක කළහොත්, ගල්ෆ් කලාපයේ බලශක්ති පහසුකම්, පිරිපහදු, විදුලි ජාල සහ ජල යටිතල පහසුකම්වලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සූදානම් බව ඉරානය අවධාරණය කර තිබේ. තවදුරටත් කලාපීය උණුසුම වැඩිවීම විනාශයට හේතු වන බව පෙන්වා දී ඇති සෞදි අරාබිය ඇතුළු ගල්ෆ් රටවල්, ගැටුම් වළක්වා කේවල් කිරීම් හා සාකච්ඡා හරහා විසඳුමකට එළඹෙන ලෙස ඇමරිකාවෙන් ඉල්ලා තිබෙන අතර, අගෝස්තු 2 වැනි දින ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඉක්මනින් එකඟතාවකට පැමිණීමේ කොන්දේසිය මත ඉරානයට එරෙහිව සැලසුම් කළ ප්‍රහාරය අත්හිටුවීමට එකඟ වූ බවයි.













