කොටගල, ස්ටෝනික්ලිෆ් වත්තේ (Stoneycliff Estate) කම්බි උගුලකට (Snare) හසුවී සිටි දිවියෙකු සාර්ථකව මුදාගෙන ඇති අතර, මේ වන විට එම දිවියා රන්දෙනිවල වනජීවී කාර්යාලයේදී වැඩිදුර ප්‍රතිකාර ලබමින් සිටින බව විපක්ෂ නායක සஜித் ප්‍රේමදාස මහතා ‘X’ ගිණුමේ සටහනක් තබමින් පවසා තිබේ.
මෙම මෙහෙයුමට සම්බන්ධ වූ වනජීවී පශු වෛද්‍යවරුන් වන ගංගා සහ නිහාල් මෙන්ම අකලාංක ඇතුළු කණ්ඩායමේ කැපවීම විපක්ෂ නායකවරයා විසින් විශේෂයෙන් අගය කර ඇත. එසේම, වර්ජන ක්‍රියාමාර්ග මධ්‍යයේ වුවද දැඩි පරිශ්‍රමයක් යොදමින් සතා බේරා ගැනීමට කටයුතු කළ හරීන් මධුරංග, ශෂික සහ වනජීවී දෙපාර්තමේන්තු කණ්ඩායමට මෙන්ම තොරතුරු ලබා දුන් නුවන් සහ බණ්ඩාර යන අය වෙත ද ඔහු ස්තූතිය පුද කර තිබේ. රාත්‍රී කාලයේ සිට අලුයම දක්වා තමාද මෙම ගලවා ගැනීමේ මෙහෙයුමට මැදිහත් වූ බව සඳහන් කළ ප්‍රේමදාස මහතා, වනජීවී පශු වෛද්‍යවරුන්ගේ සේවය නිසි ලෙස ඇගයීමට ලක් කළ යුතු කාලය එළඹ ඇති බවද අවධාරණය කර ඇත.















