මදුරුවන්ට ඔබව විතරක් ‘රස’ ඇයි? ඒක ඔබේ හිතළුවක් නෙවෙයි!
පිරිසක් එකට වාඩි වී සිටින විට, එක් අයෙකුට පමණක් මදුරුවන් වැඩිපුර දෂ්ට කරන බව ඔබට කවදා හෝ දැනිලා තියෙනවාද? “මගේ ලේ රහ ඇති” යනුවෙන් අප විහිළුවට පැවසුවද, එය හුදෙක් ඔබේ හිතළුවක් නොවන බව විද්‍යාඥයින් දැන් තහවුරු කර තිබේ. ඇතැම් පුද්ගලයන් වෙත මදුරුවන් වැඩිපුර ආකර්ෂණය වීමට සැබෑ විද්‍යාත්මක හේතුවක් පවතී.
බොහෝ දෙනෙකුට මදුරුවා යනු හුදෙක් කරදරකාරී සතෙක් පමණක් වුවත්, ලෝකයේ සිටින මාරාන්තිකම සත්වයා වන්නේ ද ඌය. මැලේරියාව, ඩෙංගු සහ බටහිර නයිල් වෛරසය වැනි දරුණු රෝග රැසක් පතුරුවන මදුරුවන් හේතුවෙන් වසරකට ලොව පුරා මිනිසුන් මිලියනයකට වඩා මිය යයි. එබැවින් මදුරුවන් අපව සොයාගන්නේ කෙසේද යන්න අවබෝධ කරගැනීම විද්‍යාවට අතිශය වැදගත් වේ.
අත් නළයේ පරීක්ෂාව
මේ අබිරහස විසඳීම සඳහා ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ (FIU) විද්‍යාඥයින් පිරිසක් මයාමි නගරයේ ස්වේච්ඡා සාමාජිකයින් 119 දෙනෙකු යොදාගනිමින් අපූරු පරීක්ෂණයක් සිදු කළහ. එහිදී ඔවුන් කළේ ‘ඔල්ෆැක්ටෝමීටරය’ (olfactometer) නම් දිගු නළයක් තුළට තම අත දමන ලෙස එම පුද්ගලයින්ට උපදෙස් දීමයි. අනතුරුව නළයේ අනෙක් කෙළවරින් මදුරුවන් විශේෂ තුනක් (Aedes aegypti, Aedes albopictus, සහ Culex quinquefasciatus) මුදාහැර, ඔවුන් වැඩිපුරම ආකර්ෂණය වන්නේ කාගේ අතට දැයි පරීක්ෂා කෙරිණි.
මදුරුවන් මිනිස් සිරුරේ සුවඳට ආකර්ෂණය වන බව අප දන්නා නමුත්, එක් එක් පුද්ගලයාගේ සුවඳේ ඇති සියුම් වෙනස්කම් ඊට බලපාන්නේ කෙසේද යන්න මෙතෙක් කල් ගැටලුවක්ව පැවතුණි. ඊට ප්‍රධාන හේතුව වන්නේ මිනිස් සිරුරෙන් නිකුත් වන සුවඳ අතිශය සංකීර්ණ වීමයි. අපගේ සමේ ඇති දුගඳින් තොර ශ්‍රාවයන්, සමේ ජීවත් වන බැක්ටීරියා (microbiome) සමඟ ප්‍රතික්‍රියා කර වාෂ්පශීලී කාබනික සංයෝග (VOCs) බවට පත් වේ. මිනිස් සමේ මෙවැනි VOCs වර්ග 1,000කට වඩා ඇති බව සැලකේ.
ප්‍රධාන පර්යේෂක, ස්නායු ජාන විද්‍යාඥ මැතිව් ඩිජෙනාරෝ පවසන පරිදි, පුද්ගලයන් ඉලක්ක කරගැනීමේදී මිනිස් සමේ ක්ෂුද්‍ර ජීවීන් සහ සුවඳ අතර පැහැදිලි සම්බන්ධයක් ඇති බව දැන් තහවුරු වී ඇත.
මෙම පරීක්ෂණයේදී හෙළි වූ අපූරුතම කරුණ නම්, මදුරුවන්ගේ රුචිකත්වයන් විශේෂයෙන් විශේෂයට වෙනස් වීමයි. Aedes aegypti මදුරුවන් කාන්තාවන්ට වඩා මඳක් වැඩිපුර පිරිමින්ට ආකර්ෂණය විය. ඇතැම් පුද්ගලයන් වෙත එක් මදුරු විශේෂයක් තදින් ආකර්ෂණය වුවද, අනෙක් මදුරු විශේෂ දෙක ඔවුන් වෙත එතරම් ආකර්ෂණය වූයේ නැත. සමහර මදුරුවන් තමන් අකමැති VOCs සුවඳ වහනය වන පුද්ගලයන් මගහරින බව පෙනී ගිය අතර, තවත් මදුරුවන් තමන් කැමති සුවඳ හඹා යන බව නිරීක්ෂණය විය.
සහභාගී වූ 119 දෙනාගේ සමේ විවිධ බැක්ටීරියා කාණ්ඩ 246ක් හඳුනාගැනීමට පර්යේෂකයෝ සමත් වූහ. මදුරුවන් එක් එක් බැක්ටීරියාවලට දක්වන කැමැත්ත වෙනස් වුවද, මදුරුවන් වැඩිපුරම ආකර්ෂණය වූ (මදුරුවන්ගෙන් වැඩිපුරම කෑම් කෑ) පුද්ගලයන්ගේ සමේ පොදුවේ දක්නට ලැබුණු විශේෂිත බැක්ටීරියා වර්ග තුනක් විද්‍යාඥයෝ සොයාගත්හ. ඒවා නම් Co. kefirresidentii, Cu. granulosum සහ Staphylococcus epidermidis වේ.
මෙම බැක්ටීරියා වර්ග තුන සම මත සිටීම, මදුරුවන්ට “මෙන්න රසවත් ගොදුරක් ඉන්නවා” යැයි කියන සංඥාවක් බඳු බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
iScience සඟරාවේ පළ කර ඇති මෙම නවතම සොයාගැනීම, මදුරු උවදුර පාලනය කිරීම සඳහා නව බලාපොරොත්තුවක් ගෙන දෙයි. ඉදිරියේදී මෙම නිශ්චිත බැක්ටීරියා සහ සංයෝග ඉලක්ක කරගනිමින් වඩාත් සාර්ථක මදුරු විකර්ෂක (repellents) නිපදවීමටත්, ඇතැම් විට අපගේ සමේ බැක්ටීරියා සංයුතිය වෙනස් කර අපව මදුරුවන්ට ‘අප්‍රසන්න’ අය බවට පත් කිරීමටත් මෙමඟින් හැකිවනු ඇත.
මදුරුවන් ඔබවම තෝරාගෙන දෂ්ට කරන්නේ නම්, ඔබේ සමේ සිටින අදෘශ්‍යමාන බැක්ටීරියා ඔවුන්ගේ මිතුරන් බව මතක තබාගන්න!














