දිවයිනේ වැඩිම අස්වැසුම ප්‍රතිලාභීන් පිරිසක් සිටින නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම ප්‍රතිලාභීන්ට හිමි මුදල් වංචා කිරීමේ ජාලය රුපියල් එක්කෝටි හැටදෙලක්ෂයක් (මිලියන 16.2ක්) දක්වා ඉහළ ගොස් ඇති බව විගණන පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
මෙම මුදල් වංචාවට එම කාර්යාලයේ තවත් නිලධාරීන් තිදෙනෙක් සම්බන්ධ බවට අනාවරණය වීමත් සමඟ, ඒ පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් සමීර ගම්ලත් හැටන් පොලිස් කොට්ඨාශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණිල්ලක් ගොනු කර ඇත.
මීට ප්‍රථම ප්‍රාදේශීය ලේකම්වරයා කළ පැමිණිල්ලක් මත, නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අංශ භාරව කටයුතු කළ කාන්තාවන් දෙදෙනෙක් හැටන් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන හැටන් දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එම සැකකාරිනියන් දෙදෙනා අගෝස්තු 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබුණි. අස්වැසුම දීමනාව නොලැබුණු බවට ප්‍රතිලාභීන් විසින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් වෙත නිර්නාමිකව යොමු කරන ලද ලිපියක් පදනම් කරගෙන මෙම වංචාව අනාවරණය වී ඇත. ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරියගේ උපදෙස් මත, නුවරඑළිය දිස්ත්‍රික් සහ මුදල් අමාත්‍යාංශයේ විගණන අංශවල නිලධාරීන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොදවා 2023 සිට 2025 දක්වා කාලය තුළ විශේෂ විගණන පරීක්ෂණයක් සිදු කර ඇත.
සැකකරුවන් විසින් අස්වැසුම මුදල් ඔවුන්ගේ ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ ගිණුම්වලට බැර කර, එම මුදල් ණය මුදලක් ලෙස පෞද්ගලිකව අතමාරු මඟින් ලබා දී, පසුව පොලී රහිතව වාරික වශයෙන් අය කරගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මුදල් නොලැබීම ගැන විමසූ ප්‍රතිලාභීන්ට සැකකාරිනියන් තර්ජනය කර ඇති බවද වාර්තා වේ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 10 කම අස්වැසුම, දිවිනැඟුම, සමෘද්ධි සහ රුපියල් 5,000 දීමනා ඇතුළු අනෙකුත් ප්රතිලාභ නිසි ලෙස ගෙවා ඇද්ද යන්න සොයා බැලීම සඳහා විශේෂ විගණන කණ්ඩායමක් පත් කිරීමට නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවිරආරච්චි පියවර ගනිමින් සිටී.














