මූල්‍යමය අපහසුතා සහ දැඩි ණය බර හේතුවෙන් තම මූල්‍ය තත්ත්වය පවත්වාගෙන යාමට නොහැකි වී ඇති බවට තීරණය කරමින්, ‘හෙල ඇපරල් හෝල්ඩින්ග්ස්’ (Hela Apparel Holdings PLC) සමාගම විසින් කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ සමාගම විසුරුවා හැරීමේ (Winding up) නීතිමය අයදුම්පතක් ගොනු කර තිබේ.
කොළඹ කොටස් වෙළඳපොළට නිවේදනයක් නිකුත් කරමින් සමාගම සඳහන් කළේ, ණයහිමියන්ට සහ පාර්ශ්වකරුවන්ට සිදුවන හානිය අවම කර ගැනීම සඳහා විවිධ ප්‍රතිව්‍යුහගත කිරීමේ විකල්ප සහ උපායමාර්ගික ආයෝජන සෙවීමට අධ්‍යක්ෂ මණ්ඩලය උත්සාහ කළද, ඒවා සාර්ථක නොවීම හේතුවෙන් මෙම දැඩි තීරණයට එළඹීමට සිදු වූ බවයි. මෙම තීරණය යටතේ එහි අනුබද්ධ සමාගම් වන ‘හෙල ක්ලෝතිං’ සහ ‘ෆවුන්ඩේෂන් ගාමන්ට්ස්’ යන සමාගම් ද වෙනම විසුරුවා හැරීමේ අයදුම්පත් ඉදිරිපත් කර ඇත.














