ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සමඟ එක්ව සහ යුරෝපා සංගමයේ (EU) සහාය ඇතිව ‘දකුණු ආසියාවේ දේශගුණික හිතකාමී සහ ඇතුළත් යටිතල පහසුකම් වේගවත් කිරීමේ’ (ACSIIS) වැඩසටහන යටතේ ‘ExpoScaleUp’ හි තෙවන අදියර නිල වශයෙන් ආරම්භ කර තිබේ.
ශ්‍රී ලාංකික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (SMEs) ජාත්‍යන්තර වෙළෙඳපළ තුළ සාර්ථකව තරග කිරීමට සහ වර්ධනය වීමට අවශ්‍ය මඟපෙන්වීම ලබා දීම මෙම ප්‍රමුඛතම වැඩසටහනේ අරමුණයි.
දිවයින පුරා විසිරී සිටින ඉහළ විභවයක් සහිත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 25 දෙනෙක් දින හතරක තීව්ර පුහුණු වැඩසටහනක් සඳහා මෙහිදී සම්බන්ධ කර ගෙන ඇත. ප්‍රායෝගික හා වෙළෙඳපළ ඉලක්ක කරගත් අපනයන අලෙවිකරණ සැලසුම් සකස් කිරීම හරහා ව්‍යවසායකයින්ගේ අපනයන සූදානම සහ තරගකාරිත්වය ඉහළ නැංවීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර, සහභාගිවන්නන් සඳහා නෙදර්ලන්තයේ ජාත්‍යන්තරව පිළිගත් අපනයන අලෙවිකරණ විශේෂඥයෙකුගෙන් සහ EDB පුහුණු කණ්ඩායමෙන් විශේෂඥ මඟපෙන්වීම් හිමි වී තිබේ.
මෙම වැඩසටහන EDB, යුරෝපා සංගමය සහ IFC විසින් ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන ‘ශ්‍රී ලංකා අපනයන විශිෂ්ටතා මුලපිරීමේ’ (SLEEI) ප්‍රධාන අංගයකි. 2025 ජනවාරි මාසයේ ආරම්භ කළ දින සිට මේ වන විට කණ්ඩායම් දෙකක් අවසන් කර ඇති අතර, ව්‍යවසායන් 50කට ආධාර කර ඇත. ඒ හරහා දැනටමත් සමාගම් 5ක් තම ප්‍රථම අපනයන ඇණවුම් ලබාගෙන ඇති අතර, තවත් සමාගම් 38කට ජාත්‍යන්තර සහතික සහ විදේශීය වෙළෙඳපළ අවස්ථා හිමි වී තිබේ. 2030 වසර වන විට ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 36 දක්වා ළඟා කර ගැනීමේ ජාතික ඉලක්කයට දායක විය හැකි අපනයන-සූදානම් ව්‍යවසායකයින් පිරිසක් බිහි කිරීම මෙහි අපේක්ෂාවයි.













