ශ්‍රී ලංකාවේ දිගුකාලීන සංවර්ධන හවුල්කරුවා ලෙස සමාජ-ආර්ථික දියුණුවට තවදුරටත් සහය වීමට සූදානම් බව එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ආසියානු සහ පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ කන්නි විග්නරාජා මහත්මිය ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වෙමින් ඇය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා හමුවූ අවස්ථාවේදී මෙම ප්‍රකාශය සිදු කර ඇත. රජය විසින් මෙහෙයවන ලද ශ්‍රී ලංකාවේ ප්‍රතිසාධන ක්‍රියාවලියට ප්‍රශංසා කළ ඇය, එය රටේ සංවර්ධන දැක්ම පිළිබඳ ධනාත්මක ප්‍රතිඵලයක් සහ ගෝලීය මතවාදයක් නිර්මාණය කර ඇති බව සඳහන් කළාය. එසේම, 2028-2032 කාලසීමාව සඳහා ක්‍රියාත්මක වීමට නියමිත UNDP දේශීය සංවර්ධන වැඩසටහන හරහා රටේ සංවර්ධන කටයුතුවලට අඛණ්ඩව දායක වන බව ඇය තහවුරු කළාය.
රජයේ ඩිජිටල්කරණ ව්‍යාපාරය, පුනර්ජනනීය බලශක්තිය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රවර්ධනය, ශ්‍රම බළකායේ කුසලතා සංවර්ධනය, දේශගුණික මූල්‍යකරණය සහ සංචාරක ව්‍යාපාරය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සඳහා UNDP ලබා දෙන සහයෝගය පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු වී ඇත. සිය සංචාරය අතරතුර කන්නි විග්නරාජා මහත්මිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ නියෝජ්‍ය ඇමැති එරංග වීරරත්න යන මහත්ම මහත්මීන් ද හමුවී සාකච්ඡා පවත්වා තිබේ.













