ස්වාධීන ඩිජිටල් මාධ්‍ය ප්‍රකාශක සහ මෘදුකාංග සංවර්ධක ආයතනයක් වන ‘ග්ලෝබල් ස්ටැට්ස්එක්ස්’ (Global StatsX) විසින් නිකුත් කරන ලද නවතම ගෝලීය සෞඛ්‍ය දර්ශකවලට අනුව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය 70.8ක ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන තිබේ.
ග්ලෝබල් ස්ටැට්ස්එක්ස් ආයතනයේ වසරේ මැද විශ්ලේෂණයට අනුව, හොඳම සෞඛ්‍ය පද්ධති සහිත රටවල් අතර 87.1ක ලකුණු ලබා ගනිමින් තායිවානය (Taiwan) ලැයිස්තුවේ පෙරමුණ ගෙන ඇත.
මෙම ශ්‍රේණිගත කිරීම් සඳහා වෛද්‍යවරුන් සහ හෙදියන්ගේ ගුණාත්මකභාවය, සෞඛ්‍ය යටිතල පහසුකම් සහ තාක්ෂණය, සේවාවන්වල ප්‍රවේශය, පිරිවැය කාර්යක්ෂමතාව සහ සමස්ත සෞඛ්‍ය ප්‍රතිඵල ඇතුළු ප්‍රධාන දර්ශක රැසක් පදනම් කරගෙන ඇත.
රෝහල් උපකරණවල ගුණාත්මකභාවය, රෝග විනිශ්චය මෙවලම්, ප්‍රතිකාර සඳහා ගතවන කාලය, විශ්වීය සෞඛ්‍ය ආවරණය, වෛද්‍ය ප්‍රතිකාරවල දැරිය හැකි මිල සහ රක්ෂණාවරණය, ආයු අපේක්ෂාව මෙන්ම රෝගී තෘප්තිය වැනි සාධක ද මෙම ඇගයීමේදී සැලකිල්ලට ගෙන තිබේ.














