දූෂණ විරෝධි පනතට අනුව මහජන නියෝජිතයන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ජනතාවට පරිශීලනය කිරීමට මීට පෙර පැවැති පරිදිම ඉඩ ප්‍රස්ථාව දිගටම ලබාදෙන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.
රජයේ නිලධාරීන් ඇතුළු ඇතැම් අයගේ පෞද්ගලිකත්වයට හානි වන අයුරින් ඇතැම් මාධ්‍ය ආයතන විසින් මෙම තොරතුරු අවභාවිත කිරීමට උත්සාහ දරන බව නිරීක්ෂණය වී ඇති බැවින්, එම තත්ත්වයන් වැළැක්වීම සඳහා දූෂණ විරෝධි පනත් කෙටුම්පතට කඩිනමින් සංශෝධන ගෙන එන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම සංශෝධන මඟින් රජයේ නිලධාරීන් සහ අනෙකුත් පාර්ශ්වයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා යම් යම් සීමාකිරීම් සිදුකළද, මහජන නියෝජිතයන්ට අදාළ වත්කම් සහ බැරකම් ප්‍රකාශ මීට පෙර මෙන්ම ඉදිරියටත් ඕනෑම අයෙකුට ප්‍රවේශ වීමට සහ පරිශීලනය කිරීමට හැකි අයුරින් අඛණ්ඩව පවත්වාගෙන යන බව ඔහු අවධාරණය කළේය.
මහජන නියෝජිතයන් යනු මහජන සේවය තෝරාගත් පිරිසක් වන බැවින්, ඔවුන්ගේ සහ ඔවුන්ගේ ඥාතීන්ගේ වත්කම් පිළිබඳ තොරතුරු ජනතාවට දැනගැනීමේ අයිතිය ඇති බව සභානායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.













