ආරක්ෂිත හිස්වැසුම් (හෙල්මට්) නොමැතිව කුඩා දරුවන් යතුරුපැදිවල නංවාගෙන ගමන් කරන මව්පියන්ට එරෙහිව මින් ඉදිරියට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ රථවාහන අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල මහතා පවසයි.
බොහෝ දෙමාපියන් තමන් පමණක් හෙල්මට් පැළඳ කුඩා දරුවන් දෙතුන් දෙනෙකු ද යතුරුපැදියේ නංවාගෙන කිසිදු බියකින් තොරව ගමන් කිරීම නිතර දැකගත හැකි බවත්, මානුෂික පදනම මත මෙතෙක් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක නොකළ බවත් ඒ මහතා සඳහන් කළේය. මෑතකදී ඉන්ධන ටැංකිය මත දරුවෙකු නංවාගෙන ගිය අවස්ථාවක යතුරුපැදිය අනතුරකට ලක්වීමෙන් දරුවෙකු ජීවිතක්ෂයට පත්වූ සිදුවීමක්ද ඔහු පෙන්වා දුන්නේය.
ඒ අනුව, මින් ඉදිරියට හෙල්මට් නොමැතිව දරුවන් යතුරුපැදිවල රැගෙන යාමට ඉඩ නොදෙන බවත්, නීත්‍යානුකූලව කටයුතු කරන බවත් පොලිසිය අවධාරණය කරයි.
















