කොළඹ පිහිටි පොලිස්පතිවරයාගේ නිල නිවස සහ අගවිනිසුරුවරයාගේ නිල නිවස අවට මාර්ගය වීඩියෝ ගත කළ පුද්ගලයෙකු කුරුඳුවත්ත පොලිසිය විසින් ඊයේ (අගෝස්තු 06) රාත්රියේ අත්අඩංගුවට ගෙන තිබේ.
සුඛෝභෝගී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු, පොලිස්පති නිල නිවස අසල මාර්ගයේ සිට එය වීඩියෝ ගත කරන බවට ප්රධාන දොරටුවේ රාජකාරියේ නියුතු විශේෂ කාර්ය බලකා (STF) නිලධාරියෙකුට නිරීක්ෂණය වී ඇත. ඒ පිළිබඳව රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකු හරහා කොළඹ හදිසි ඇමතුම් අංශය දැනුවත් කිරීමෙන් අනතුරුව, කුරුඳුවත්ත පොලිසියේ ජංගම සංචාරක රාජකාරී නියුතු නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. වීඩියෝ ගත කිරීමට යොදාගත් ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුගේ දුරකථනය පරීක්ෂා කිරීමේදී පොලිස්පතිවරයාගේ සහ අගවිනිසුරුතුමාගේ නිල නිවාස මෙන්ම ඒ අවට මාර්ග සටහන්ව තිබී ඇත. තමා විනෝදාංශයක් ලෙස මෙලෙස වීඩියෝ කළ බව සැකකරු ප්රකාශ කළද, ඔහු පදිංචි ස්ථානය සහ වෙනත් කරුණු සම්බන්ධයෙන් සිදුකළ ප්රශ්න කිරීම්වලදී පරස්පර අදහස් ප්රකාශ කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. අළුබෝමුල්ල, අරුග්ගොඩ, නිවුඩාව පාරේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු වන මොහු සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














