අධ්‍යාපන අංශය නවීකරණය කිරීමේ පුළුල් ඩිජිටල් පරිවර්තන වැඩසටහනක කොටසක් ලෙස, දිවයින පුරා පිහිටි පාසල් 10,000ම ෆයිබර්, 4G, 5G හෝ චන්ද්‍රිකා තාක්ෂණය හරහා අන්තර්ජාලයට සම්බන්ධ කිරීමට රජය සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ඒ.බී.එම්. අෂ්රෆ් මහතා පවසයි.
අපොස උසස් පෙළ හදාරන දක්ෂ එහෙත් අඩු පහසුකම් සහිත සිසුන් වෙත ලෙනොවෝ (Lenovo) ලැප්ටොප් පරිගණක 50ක් බෙදා දීමේ උත්සවයකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. ඩිජිටල් පරතරය අවම කිරීම සහ පාසල් වෙත තාක්ෂණය සමානව ලැබීම තහවුරු කිරීම මෙම ජාතික සැලැස්මේ අරමුණ බව ඔහු සඳහන් කළේය. වාණිජමය වශයෙන් යෝග්‍ය වන සෑම තැනකම ෆයිබර් සම්බන්ධතා ලබා දෙන අතර, දුෂ්කර ප්‍රදේශවල පාසල් 4G, 5G හෝ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කිරීමට නියමිතය. පරිගණක විද්‍යාගාර නොමැති සියලුම ද්විතීයික පාසල් වෙත ලළමු වසර තුළ විද්‍යාගාර ලබා දීමටත්, ප්‍රාදේශීය, කලාපීය සහ පළාත් අධ්‍යාපන කාර්යාල සියල්ල දැනටමත් ඩිජිටල් ජාලයකට සම්බන්ධ කර ඇති බවත් අතිරේක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.














