වෙළෙඳාම, ඩිජිටල්කරණ සහ කෘතිම බුද්ධි ක්ෂේත්රවල සහයෝගීතාව තුළින් ශ්‍රී ලංකාව සහ ඕමානය අතර උපායමාර්ගික හවුල්කාරිත්වය වැඩිදියුණු වෙයි
ශ්‍රී ලංකාව සහ ඕමාන සුල්තාන් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික උපදේශනවල සිව්වන වටය 2026 අගෝස්තු මස 03 වන දින මස්කට්හිදී සාර්ථකව පැවැත්විණි.
දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 45ක් සපිරීමේ පසුබිම තුළ මෙම හමුව සිදුවිය. මෙහිදී වෙළෙඳාම, ආයෝජන, ඩිජිටල්කරණ, සම්බන්ධතාව, නවෝත්පාදන සහ මානව ප්‍රාග්ධන සංවර්ධනය යන ක්ෂේත්රවල සහයෝගීතාව පුළුල් කර ගැනීම සඳහා දෙපාර්ශ්වයේ අවධානය යොමු විය. ශ්‍රී ලංකා දූත පිරිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජ මහත්මිය විසින් මෙහෙයවන ලද අතර, ඕමාන දූත පිරිස එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උප ලේකම් ෂෙයික් කලීෆා බින් අලී බින් ඉසා අල් හාර්ති මහතා විසින් මෙහෙයවන ලදී.
ආර්ථික සහ වෙළෙඳ සබඳතා යටතේ විශේෂ වෙළෙඳ විධිවිධානයක් පිළිබඳ සාකච්ඡා ඉදිරියට ගෙන යාමටත්, පෞද්ගලික අංශයේ හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීමටත් දෙපාර්ශ්වය එකඟ වූහ. ඩිජිටල්කරණය සහ කෘත්‍රිම බුද්ධිය (AI) සම්බන්ධයෙන් ඩිජිටල් පාලනය, කෘත්‍රිම බුද්ධි යෙදුම් සහ තාක්ෂණය මත පදනම් වූ ව්‍යවසායකත්වය තුළ විශේෂඥතාව සහ නව්‍ය විසඳුම් හුවමාරු කර ගැනීමට එකඟ විය. ශ්‍රම සහයෝගීතාව අංශයෙන් ඕමානයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් 28,000ක පමණ පිරිසකගේ දායකත්වය ඇගයීමට ලක් වූ අතර, පුහුණු වෘත්තිකයන් සඳහා රැකියා අවස්ථා පුළුල් කිරීම සහ ශ්‍රම ගිවිසුම කඩිනම් කිරීම පිළිබඳව ඕමාන කම්කරු අමාත්‍යාංශයේ උප ලේකම්වරයා සමඟ සාකච්ඡා පවත්වන ලදී. මීට අමතරව, සෘජු සමුද්‍රීය සහ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සම්බන්ධතා ශක්තිමත් කිරීමේ වැදගත්කම මෙන්ම, IORA සංවිධානයේ සාමාජිකයන් ලෙස ස්ථාවර ඉන්දියානු සාගර කලාපයක් සඳහා දායක වීමේ කැපවීම ද යළි තහවුරු කෙරිණි.
මෙම සංචාරයට සමගාමීව ලේකම් අරුණි රණරාජ මහත්මිය ඕමාන රාජ්‍යතාන්ත්‍රික ඇකඩමියේදී විශේෂ දේශනයක් ද පැවැත්වූ අතර, මීළඟ (පස්වන) ද්විපාර්ශ්වික උපදේශන වටය කොළඹදී පැවැත්වීමට දෙපාර්ශ්වය එකඟ වූහ.
















