මීගමුව, ඒත්තුකාල ප්‍රදේශයේ අවන්හලකදී මත්පැන් බෝතලයකින් හිසට පහර දී එක්දරු මවක් ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරු ලබන අගෝස්තු 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශීලනී පෙරේරා මහත්මිය නියෝග කර තිබේ.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ වෙන්නප්පුව, නයිනමඩම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි යෝහන් සමරතුංග නමැත්තෙකි. ඉකුත් ජූලි 17 වන දින මීගමුව, හලාවත පාරේ පදිංචි එක්දරු මවක් සහ පිරිසක් ඒත්තුකාල ප්‍රදේශයේ අවන්හලක සාදයකට සහභාගී වී පිටතට පැමිණි අවස්ථාවේදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් සැකකරු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත. පහරකෑමට ලක් වූ කාන්තාව පසුව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති අතර, එහිදී ඇය ජීවිතක්ෂයට පත්ව තිබේ. මීගමුව පොලිසිය විසින් සීසීටීවී දර්ශන, බිඳී ගිය මත්පැන් බෝතලයේ කොටස් සහ සාක්ෂි වාර්තා අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, සැකකරුගේ සහ මියගිය තැනැත්තියගේ ජංගම දුරකථන සහ සීසීටීවී දර්ශන රස පරීක්ෂක වෙත යවන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.














