විගණකාධිපති ධුරයේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව, විගණකාධිපතිවරියගේ වැටුප අනුමත කිරීමට පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කාරක සභාව, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසකගේ සහභාගීත්වයෙන් පසුගියදා (අගෝස්තු 04) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම තීරණයට එළඹ ඇත. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153(2) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපති ධුරයේ වැටුප් සම්බන්ධයෙන් අදාළ යෝජනාව කාරක සභාවේ අවධානයට යොමු කර තිබිණි.
මෙහිදී විගණකාධිපතිවරියගේ වගකීම්, රාජ්‍ය මූල්‍ය අධීක්ෂණය හා විගණන ක්ෂේත්රයේ ස්වාධීනත්වය ඇතුළු කරුණු සැලකිල්ලට ගනිමින් වැටුප් මට්ටම පිළිබඳව සාකච්ඡා කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 170 වෙනි ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයා රාජ්‍ය සේවකයකු නොවන බැවින් පවත්නා රාජ්‍ය වැටුප් පරිමාණයෙන් බැහැරව විශේෂ සැලකිල්ලක් යොමු කළ හැකි බව කාරක සභාව පෙන්වා දී තිබේ. යෝජිත වැටුප අනුමත කළද, තනතුරේ වගකීම් සහ කාර්යභාරය සැලකිල්ලට ගනිමින් වැටුප තවදුරටත් ඉහළ මට්ටමක පැවතිය යුතු බවට කාරක සභා සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් අදහස් පළ කර ඇති අතර, ස්ථිර සහ ස්වාධීන වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවක් ස්ථාපිත කරන ලෙසද සභාපතිවරයා මෙහිදී යෝජනා කර ඇත.














