පාඩම් කිරීම සඳහා මහරගම නගර සභා මහජන පුස්තකාලයට ගිය උසස් පෙළ සිසුවියක, නිලධාරීන් කිසිදු වගවිභාගයකින් තොරව පුස්තකාලයේ දොරගුලු වසා නිවෙස් වෙත යාම හේතුවෙන් එම පරිශ්‍රය තුළ සිරවීමේ සිද්ධියක් මහරගම නගර සභා රැස්වීමේදී අනාවරණය වී තිබේ.
සිසුවිය පාඩම් කරමින් සිටියදී නිලධාරීන් දොර ජනෙල් වසා පිටව ගොස් ඇති අතර, පසුව නිවසට යාමට පැමිණි අවස්ථාවේදී දොරවල් වසා තිබෙනු දැක බියට පත් දැරිය හඬා වැටෙමින් කෑගසා ඇත. යාබද අතුරු මාර්ගයක ගමන් කළ පුද්ගලයන් දෙදෙනකුට ඇයගේ විලාපය ඇසී නගර සභා පරිශ්‍රයේ සිටි සේවකයන්ට දැනුම්දීමෙන් පසු, කම්කරුවන් දෙදෙනකු උඩුමහලට නැග ජනේලයකින් ඇතුළු වී දැරිය මුදාගෙන තිබේ. ඒ වන විට ඇය පැය භාගයක පමණ කාලයක් පුස්තකාලය තුළ සිරවී සිට ඇත.
මෙම සිද්ධිය එම ස්ථානයට පැමිණි ආබාධිත පුද්ගලයකු විසින් වීඩියෝ ගත කර ඇති අතර, දැරියගේ මව විසින් නගර සභාපතිවරයාට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වමින් පවතින බවත්, අදාළ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවත් නගර සභාපති සමන් සමරකෝන් මහතා සඳහන් කළේය.














