ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ මෑතකදී හටගත් නොසන්සුන්කාරී තත්ත්වයන් පාලනය කිරීම සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා බඳපටි කැමරා (body cameras) මිලදී ගැනීමට quotations කැඳවා ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
කැරලි මර්දන හිස්වැසුම් 150ක්, පොලු 300ක් සහ කැරලි මර්දන පලිහ 300ක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 13.7ක මුදලක් වෙන් කර ඇති අතර, ඒ සඳහාද quotations කැඳවීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී.
පසුගිය බ්‍රහස්පතින්දා (06) රාත්‍රියේ සිට පැය 24ක් වැනි කෙටි කාලයක් තුළ වැලිකඩ, බොරැල්ල මැගසින් සහ කුරුවිට බන්ධනාගාරවල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන් හේතුවෙන් රැඳවියන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 23 දෙනෙකු තුවාල ලබා ඇත.
මීට අමතරව මීගමුව පල්ලන්සේන තරුණ අපරාධකරුවන්ගේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් පිරිසක් වහලය මතට නැඟ විරෝධතාවක නිරත වූ අතර, අනුරාධපුර බන්ධනාගාරයේ ආරක්ෂාව ද තර කිරීමට පියවර ගෙන තිබේ.
මෙම සිදුවීම් පිටුපස සංවිධානාත්මක කුමන්ත්‍රණයක් හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවක් පවතින්නේද යන්න පිළිබඳව සැක මතු වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
බන්ධනාගාර අධිකාරීන්ට, පොලිසියට, විශේෂ කාර්ය බලකායට සහ ත්‍රිවිධ හමුදාවට සම්බන්ධ වෙමින් සියලුම බන්ධනාගාර 33 ආවරණය වන පරිදි ඒකාබද්ධ යාන්ත්‍රණයක් ලබන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී තීරණය කර ඇත.














