අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා පවසන්නේ වසර පහකට ආසන්න කාලයක් සේවය කිරීමෙන් පසු තමා තානාපති ධුරයෙන් ඉවත් වූයේ පෞද්ගලික හේතූන් මත වන අතර, ඊට රජයෙන් කිසිදු බලපෑමක් නොතිබූ බවයි.
අස්ගිරි සහ මල්වතු පාර්ශ්වයන්හි මහානායක හිමිවරුන් බැහැදැක ආශීර්වාද ලබාගත් අවස්ථාවේදී ඔහු මෙම අදහස් පළ කළේය. තමාට යළි සක්‍රීය දේශපාලනයට පිවිසීමේ කිසිදු අදහසක් නොමැති බව අවධාරණය කළ හිටපු තානාපතිවරයා, වසර 27ක පාර්ලිමේන්තු සේවයෙන් පසු දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී සිටින බව පැවසීය. කෙසේ වෙතත්, ජාත්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් රජයෙන් ඉල්ලීමක් කළහොත් සහයෝගය ලබා දීමට සූදානම් බවද ඔහු සඳහන් කළේය.
සිය තානාපති කාලය තුළ ශ්‍රී ලංකා – අමෙරිකානු සබඳතා ශක්තිමත් කිරීමටත්, IMF සහය ලබා ගැනීමටත්, ඇමරිකානු බදු සහනාධාර සහ හමුදා උපකරණ ලබා ගැනීමටත් කටයුතු කළ බව සිහිපත් කළ සමරසිංහ මහතාගේ සේවය මහානාහිමිවරුන් විසින් දැඩි ඇගයීමකට ලක් කර ඇත.














