වසර 30ක් පුරා භාවිත කළ යල් පැනගිය රජයේ වැටුප් ගෙවීමේ පද්ධතිය වෙනුවට නවීන තොරතුරු තාක්ෂණික පද්ධතියක් සකස් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය මඟින් ටෙන්ඩර් කැඳවා ඇත. මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව (DSA) විසින් “රාජ්‍ය සංවිධාන සඳහා වැටුප් පද්ධතියක් සැලසුම් කිරීම, සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම” යන නමින් මෙම ටෙන්ඩර් නිවේදනය නිකුත් කර තිබේ.
1996 වසරේදී හඳුන්වා දුන් වත්මන් පද්ධතිය තාක්ෂණික වශයෙන් යල් පැන ගොස් තිබීම, නූතන තොරතුරු ආරක්ෂණ අවශ්‍යතාවලට අනුකූල වීමට අපොහොසත් වීම සහ ප්‍රමාණවත් ආරක්ෂක ක්‍රමවේද නොමැති වීම හේතුවෙන් දත්ත වෙනස් කිරීමේ සහ වංචා-දූෂණවලට ලක්වීමේ අවදානමක් පවතී. අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඇතුළු විශාල රාජ්‍ය ආයතන සංඛ්‍යාවක් මෙම පද්ධතිය භාවිත කරයි.
නව පද්ධතිය සඳහා අපේක්ෂිත ප්‍රධාන විශේෂාංග:
ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි සහ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛවලට දැඩි ලෙස අනුකූල වීම.
සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක විය හැකි බහුභාෂා පද්ධතියක් වීම.
බහු-සාධක සහතික කිරීම් (multifactor authentication), ආරක්ෂක දිය සලකුණු (dynamic security watermarks) සහ ආරක්ෂිත පරීක්ෂණ සටහන් (audit trails) ඇතුළත් කිරීම.
ව්‍යාජ හෝ හොල්මන් සේවකයන් (“ghost” employees) හඳුනා ගැනීම සඳහා කෘතිම බුද්ධි (AI) තාක්ෂණය යොදාගැනීම.
අන්තර්ජාල සබඳතා බිඳවැටෙන අවස්ථාවලදී නොබැඳි (offline) ලෙස එක්සෙල් (Excel) පත්‍රිකා මඟින් වැටුප් තොරතුරු යාවත්කාලීන කර බැංකු හුවමාරු ගොනු සකස් කළ හැකි අතිරේක මෙවලමක් ඇතුළත් වීම.














