පූකට් සිට නවදිල්ලි නුවර දක්වා ගමන් කරමින් තිබියදී හදිසි උන්නතාංශ අහිවීමකට (altitude loss) මුහුණ දුන් එයාර් ඉන්දියා (Air India) ගුවන් යානයේ නියමුවා සිදු කළ මූලික මත්ද්‍රව්‍ය පරීක්ෂාවකදී (psychoactive substance screening) වැඩිදුර රසායනාගාර පරීක්ෂණයක් අවශ්‍ය වන ප්‍රතිඵලයක් පෙන්වා ඇති බව ඉන්දියානු සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
අගෝස්තු 4 වන දින AI2379 දරන ගුවන් ගමනින් ගමන් කළ A320 වර්ගයේ එයාර් ඉන්දියා යානය ගුවන්ගතවී තිබියදී හදිසියේ අඩි 300ක පමණ උන්නතාංශයක් පහළට වැටීම හේතුවෙන් මගීන්ට සහ කාර්ය මණ්ඩලයට තුවාල සිදු විය. සම්මත ක්‍රියා පටිපාටිවලට අනුව ගුවන් නියමුවන් දෙදෙනාම මත්ද්‍රව්‍ය පරීක්ෂාවට ලක් කර ඇති අතර, නියමුවාගේ මූලික පරීක්ෂණ ප්‍රතිඵලය තහවුරු කරගැනීම සඳහා සාම්පල නම් කරන ලද රසායනාගාරයක් වෙත යවා ඇත. විමර්ශන අවසන් වන තෙක් සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය (DGCA) විසින් අදාළ ගුවන් නියමුවන් දෙදෙනාම රාජකාරියෙන් ඉවත් කර ඇති අතර, මෙම සිදුවීම බරපතළ සිදුවීමක් ලෙස වර්ගීකරණය කර ගුවන් අනතුරු විමර්ශන කාර්යාංශය (AAIB) විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.














