ශ්‍රී ලාංකේය තරුණ පරපුරේ කලා කෞශල්‍යය ඇගයීමට ලක්කෙරෙන ‘ජාතික යොවුන් සේනාංක කලා උලෙළ – 2026’ හි අභිමානවත් සම්මාන ප්රදානෝත්සවය සහ ජාතික කලා ප්‍රසංගය එළඹෙන අගෝස්තු 19 වැනි දින පස්වරු 3.00ට ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ‘ආග්‍රා’ නව ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
ජාතික යොවුන් සේනාංකයේ අධ්යක්ෂ බී.ඒ. ගාමිණි වික්රමපාල මහතාගේ පූර්ණ උපදෙස් සහ මඟපෙන්වීම යටතේ මෙය සංවිධානය කෙරේ. යොවුන් කැඩෙට්වරුන්ගේ කලා හැකියාවන් වර්ධනය කිරීම, කලාව තුළින් ජාතික එකමුතුව, නායකත්ව ලක්ෂණ සහ කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීම මෙම උලෙළේ ප්‍රධාන අරමුණයි.
ජාතික යොවුන් සේනාංකයේ 2026 පළමු සහ දෙවැනි කණ්ඩායම් නියෝජනය කරන යොවුන් කැඩෙට්වරුන් සඳහා පමණක් මෙම කලා වේදිකාව වෙන් කර ඇති අතර, මධ්‍යස්ථාන සහ පළාත් මට්ටමින් ජයග්‍රහණය කළ තරුණ තරුණියන් අගෝස්තු 18 වැනි දින යක්කල පුහුණු මධ්‍යස්ථානයේදී ජාතික මට්ටමේ තරග සඳහා ඉදිරිපත් වීමට නියමිතය. නර්තනය, වාදනය, වීදි නාට්‍ය, කෙටි චිත්‍රපට, ජංගම දුරකථන ඡායාරූපකරණය, නිවේදනය, පුවත්පත් ලිපි රචනය සහ ටික්ටොක් (TikTok) නිර්මාණ යනාදී අංශ රැසක් යටතේ මෙහිදී ප්‍රතිභාපූර්ණ තරුණ පිරිස් ඇගයීමට ලක් කෙරේ.














