සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අල්-අසාද් ඇතුළු ඉහළ පෙළේ සාමාජිකයින් පිරිසකට ඩමස්කස් අපරාධ අධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.
එරට පැවති වසර 14කට ආසන්න යුද සමයේදී සිදු කරන ලද යුද අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, වධහිංසා පැමිණවීම් සහ පූර්ව සැලසුම් කළ ඝාතන සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා මෙලෙස වරදකරු කර ඇත. පසුගිය 2024 වසරේදී බලයෙන් පහ කරනු ලැබූ සහ වර්තමානයේ රුසියාවේ රැඳී සිටින බෂාර් අල්-අසාද්ට අමතරව, ඔහුගේ බාල සොහොයුරා වන මහේර් අල්-අසාද්ටද මෙම මරණ දඬුවම හිමි වී තිබේ.
එසේම, දකුණු සිරියාවේ දේරා පළාතේ හිටපු දේශපාලන ආරක්ෂක ප්‍රධානී අටෙෆ් නජීබ් ද මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවමට ලක් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය වසරේ ජනවාරි මාසයේදී සිරියානු බලධාරීන් විසින් අටෙෆ් නජීබ් අත්අඩංගුවට ගෙන තිබිණි.














