ජනාධිපති වැය ශීර්ෂය යටතේ නීති විරෝධී ලෙස වැටුප් ලබා ගත්තේ යැයි චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතාගේ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (12) ප්‍රතික්ෂේප කර තිබේ.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, සැකකරුගේ හෘදයේ ධමනි ආශ්‍රිත රෝගී තත්ත්වයක් පවතින බවත්, ඔහුගේ 11 හැවිරිදි දියණිය සහ 12 හැවිරිදි පුත්‍රයා දැඩි මානසික ආතති හා විශාද තත්ත්වයන්ට ලක්ව රෝහල්ගත කර ඇති බවත් පෙන්වා දී ඇත. එබැවින් පවතින සෞඛ්‍ය හා පවුල් පසුබිම පදනම් කරගනිමින් ඔහුට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත්, ඉදිරිපත් කළ කරුණු ඇප ලබාදීමට තරම් සුවිශේෂී සාධක ලෙස සැලකිය නොහැකි බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා, නඩුව යළි කැඳවන අගෝස්තු 25 වන දින දක්වා සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
















